Friday, August 10, 2018

උද්ඝෝෂණය කිරීමෙන් සමෘද්ධි සේවක ප්‍රශ්න විසඳෙනවානම් උද්ඝෝෂණයට මාත් එනවා.- අමාත්‍ය පී. හැරිසන්.





උද්ඝෝෂණය කිරීමෙන් සමෘද්ධි සේවක ප්‍රශ්න විසඳෙනවානම් උද්ඝෝෂණයට මාත් එනවා.
                                                          අමාත්‍ය පී. හැරිසන්.

උද්ඝෝෂණය කිරීමෙන් සමෘද්ධි නිලධාරින් සම්බන්ධයෙන් උද්ගත වී ඇති සේවක ගැටලු විසදෙන්නේ නම් තමා ද එවැනි ඕනෑම උද්ඝෝෂණයකට එක්වන බවත්, අමාත්‍යධූරය ලබා ඉතා කෙටි කාලයක් තුළ මෙම සේවක ගැටලු විසඳීටම  අදාල පාර්ශවයන් සමඟ සාකච්ඡා කළ ද අධිකරණයේ නීතිමය කටයුතු කිහිපයක් හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වී ඇති බවත් සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.


 වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා.

අවුරුදු 20 – 23ක් වැඩ කරපු නිලධාරින්ට දැන් තියෙන  ප්‍රශ්නය තමයි, තම තමන්ගේ අනාගතයට මොකද වෙන්නේ කියන කාරණාව. සමෘද්ධි නිලධාරින්ට තවම විශ්‍රාම වැටුපක් නෑ. නිසි වැටුපක් නෑ. බලය හිමි දේශපාලන පක්‍ෂ සමෘද්ධි නිලධාරින්ගෙන් දේශපාලන වාසි ලැබුවා මිසක් සමෘද්ධි සේවක ප්‍රශ්න විසදන්න කටයුතු කළේ නෑ.

අපි මේ අමාත්‍යාංශය භාරගෙන මාස දෙකයි. මේ මාස දෙක ඇතුළත අවස්ථා තුනක දී අපි සමෘද්ධි සේවක ප්‍රශ්න විදසන්න අදාල ආයතන ඒක්ක මූලික සාකච්ඡාවක්පැවැත්වූවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ස්වදේශ කටුයුතු අමාත්‍යාංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තුව, වැටුප් හා සේවක කොමිෂන් සභාව ඒ ආයතනයි. මේ වන විට සමෘද්ධි සේවක ප්‍රශ්න විසඳන්න කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකා 5ක් ඉදිරිපත් කර තිබෙනවා.

සමෘද්ධිලාභීන්ව සතුටු කරන්න ඉස්සර වෙලා සමෘද්ධි නිලධාරින්ගේ සේවක ප්‍රශ්න විසදිය යුතුව තිබෙන බව මම අවබෝධ කරගෙනයි තියෙන්නේ.

මේ සේවක ප්‍රශ්න ගැන දැනට අධිකරණයේ නඩු 2ක් තියෙනවා. නීතිපතිතුමා කියලා තියෙන්නේ ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු විභාගය අවසන් වන තෙක් තීන්දු ගන්න එපා කියලයි. ඒක කැබිනට් මණ්ඩලයට නීතිපතිතුමන් දැනුම් දීලා තියෙනවා. නීතිපතිතුමන්ගේ ඒ දැනුම් දීම මත විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාත් වැටුප් හා සේවක කොමිෂන් සභාවත්, රාජ්‍ය සේවා කොමිසමත් අදාල ආයතනත් බලා ඉන්නේ මේ නඩු තීන්දුව එනකල්. ඒ නිසා මේ නඩු තීන්දුව එන තෙක් ඒ නිලධාරීන් තීන්දු තීරණ නොගෙන ඉන්නවා. අධිකරණයේ යම් නඩු කටයුත්තක් තියෙනවානම් ඒකට තීන්දු තීරණ විසඳුම් තිබිය යුතුමයි.

සමෘද්ධි සේවක ප්‍රශ්න විසඳීමේ දී දේශපාලන වාසි අවශ්‍ය වන්නේ නෑ. මේ ඇමතිකමෙන් යන්න කලින් සමෘද්ධි සේවක ප්‍රශ්නවලට හරිහමන් විසඳුමක් දීලා සමෘද්ධි නිලධාරීන්ගේ රැකියා ස්ථිර කරලා විශ්‍රාම වැටුපක් හදලා දීලා තමයි ඇමතිකමෙන් යන්නේ යැයි ද අමාත්‍යවරයා  පැවසීය.


Thursday, August 2, 2018

සුදු වෑන් මරබියෙන් මුදාගත් රටේ ජනතාව නිදහසේ ජීවත් කරවන්නේ යහපාලනයයි.


සුදු වෑන් මරබියෙන් මුදාගත් රටේ ජනතාව නිදහසේ ජීවත් කරවන්නේ යහපාලනයයි. අමාත්‍ය පී. හැරිසන්
______________________

ජනතා අයිතිය වෙනුවෙන් පසුගිය යුගයේ දී උද්ඝෝෂණයේ යෙදීමට කිසිඳු අවස්ථාවක් නොලද බවත් එසේ කළ නායකයින් හට උරුම වූයේ අතුරුදහන් වීම පමණක් බවත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
සුදු වෑන් මරබියෙන් රට මුදාගත් යහපාලනය යටතේ ඕනෑම අයෙකුට උද්ඝෝෂණයේ යෙදීමට අවස්ථාව සලසා දී ඇති බවත් එසේ වන නායකයින් දැන් අතුරුදහන් නොවන බවත් අමාත්‍යවරයා පැවසුවේ ය.
මාතර, වැලිගම නගරශාලාවේ දී පැවති දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරි හමුවට සහභාගී වෙමින් ඉන් අනතුරුව මාධ්‍යවේදීන්නැගු ප‍්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට මිනිස්සු අපෙන් ඉල්ලා සිටියේ සංවර්ධනය නෙවෙයි. අපිට පාරේ බැහැලා යන්න අයිතිය දෙන්න කියලා. අද ඒක වෙලා තියෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ උද්ඝෝෂණය නොකර ඉඳලා එකපාරට ම මහරජාණන්ගේ ආණ්ඩුව ම ජනාධිපතිවරණයෙන් සේදිලා ගියා. උද්ඝෝෂණය කරලා රටේ ජනතාවගේ ප්‍රශ්න එළියට ආවා ම ඒවට විසඳුම් දෙන්න පුළුවන්. අපි හැමෝම බලාපොරොත්තු වුයේ නිදහස් රටක්. අද අපේ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙලා තියෙනවා.
අපේ ලැයිස්තුවල හැටියට ලක්‍ෂ 08 - 10ක පිරිසකට සමෘද්ධීය ලැබිය යුතුව තිබෙනවා. ලබන සැප්තැම්බර් මාසයේ මුල් සතියේ අලුත් පවුල් ලක්‍ෂ 02කට පළමු වටයේ දී සමෘද්ධි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ලබන අවුරුද්දේ තව පවුල් ලක්‍ෂ 04 – 05ට සමෘද්ධිය ලබාදෙනවා. දවල් හීන දකින අය කැමති මේ සමෘද්ධි වැඩසටහන අක්‍රීයව පවතිනවානම්. ඒ අයට සහනාධාර නොදී තියෙනවානම්. එතකොට ඒ අයගේ ,ඒකාබද්ධයේ..වැඩසටහන්වලට මේ අය නම්මගන්න ලේසියි. දැන් ඒ අයට මහා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපේ අලුත් වැඩසටහන.අපි පක්‍ෂ පාට බේදයකින් තොරව සමෘද්ධිය ලැබිය යුතු සියලු දෙනාට සමෘද්ධි සහනාධාරය ලබාදෙනවා.
පසුගියදා ඇඹිලිපිටිය විහාරස්ථානයක පිළිමයක් නිරාවරණය කිරීමේ උත්සවයට හිටපු ජනාධිපතිවරයා නොපැමිණීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා ....සමහරු ලොකු චිත්‍ර මව මවා පෙන්නුවා, ඇන්දුවා මහරජාණන්. හැබැයි ජනතාව අතරට ගියාට පස්සේ 2015 ජනවාරි 08වෙනිදා මේ රටේ ජනතාව එතුමාට දෙන්න තියෙන හොඳම පණිවුඩය දුන්නා. එතුමාගේ ක්‍රියාව කොහොමද කියලා මුළු රට ම දැනගත්තා. ඒත් හිතන් ඉන්නේ තාමත් ජනපති කියලායැයි ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් ශිරානි වීරකෝන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජේ. දඩල්ලගේ, අමාත්‍ය උපදේශක ලෙස්ලි තිසේරා යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වූහ.