සුදු වෑන් මරබියෙන් මුදාගත් රටේ ජනතාව නිදහසේ ජීවත් කරවන්නේ යහපාලනයයි. අමාත්‍ය පී. හැරිසන්
______________________
ජනතා අයිතිය වෙනුවෙන් පසුගිය යුගයේ දී උද්ඝෝෂණයේ යෙදීමට කිසිඳු අවස්ථාවක් නොලද බවත් එසේ කළ නායකයින් හට උරුම වූයේ අතුරුදහන් වීම පමණක් බවත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
සුදු වෑන් මරබියෙන් රට මුදාගත් යහපාලනය යටතේ ඕනෑම අයෙකුට උද්ඝෝෂණයේ යෙදීමට අවස්ථාව සලසා දී ඇති බවත් එසේ වන නායකයින් දැන් අතුරුදහන් නොවන බවත් අමාත්‍යවරයා පැවසුවේ ය.
මාතර, වැලිගම නගරශාලාවේ දී පැවති දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරි හමුවට සහභාගී වෙමින් ඉන් අනතුරුව මාධ්යවේදීන්නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට මිනිස්සු අපෙන් ඉල්ලා සිටියේ සංවර්ධනය නෙවෙයි. අපිට පාරේ බැහැලා යන්න අයිතිය දෙන්න කියලා. අද ඒක වෙලා තියෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ උද්ඝෝෂණය නොකර ඉඳලා එකපාරට ම මහරජාණන්ගේ ආණ්ඩුව ම ජනාධිපතිවරණයෙන් සේදිලා ගියා. උද්ඝෝෂණය කරලා රටේ ජනතාවගේ ප්‍රශ්න එළියට ආවා ම ඒවට විසඳුම් දෙන්න පුළුවන්. අපි හැමෝම බලාපොරොත්තු වුයේ නිදහස් රටක්. අද අපේ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙලා තියෙනවා.
අපේ ලැයිස්තුවල හැටියට ලක්ෂ 08 - 10ක පිරිසකට සමෘද්ධීය ලැබිය යුතුව තිබෙනවා. ලබන සැප්තැම්බර් මාසයේ මුල් සතියේ අලුත් පවුල් ලක්ෂ 02කට පළමු වටයේ දී සමෘද්ධි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ලබන අවුරුද්දේ තව පවුල් ලක්ෂ 04 – 05ට සමෘද්ධිය ලබාදෙනවා. දවල් හීන දකින අය කැමති මේ සමෘද්ධි වැඩසටහන අක්‍රීයව පවතිනවානම්. ඒ අයට සහනාධාර නොදී තියෙනවානම්. එතකොට ඒ අයගේ ,ඒකාබද්ධයේ..වැඩසටහන්වලට මේ අය නම්මගන්න ලේසියි. දැන් ඒ අයට මහා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපේ අලුත් වැඩසටහන.අපි පක්ෂ පාට බේදයකින් තොරව සමෘද්ධිය ලැබිය යුතු සියලු දෙනාට සමෘද්ධි සහනාධාරය ලබාදෙනවා.
පසුගියදා ඇඹිලිපිටිය විහාරස්ථානයක පිළිමයක් නිරාවරණය කිරීමේ උත්සවයට හිටපු ජනාධිපතිවරයා නොපැමිණීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා ....සමහරු ලොකු චිත්‍ර මව මවා පෙන්නුවා, ඇන්දුවා මහරජාණන්. හැබැයි ජනතාව අතරට ගියාට පස්සේ 2015 ජනවාරි 08වෙනිදා මේ රටේ ජනතාව එතුමාට දෙන්න තියෙන හොඳම පණිවුඩය දුන්නා. එතුමාගේ ක්‍රියාව කොහොමද කියලා මුළු රට ම දැනගත්තා. ඒත් හිතන් ඉන්නේ තාමත් ජනපති කියලායැයි ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් ශිරානි වීරකෝන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජේ. දඩල්ලගේ, අමාත්‍ය උපදේශක ලෙස්ලි තිසේරා යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වූහ.
0 comments:
Post a Comment